Menu
Menu
20151115052522-shutterstock-283553048

ප්‍රසිද්ධියේ කතා කිරීම (PUBLIC SPEAKING)

” ඔබට පිරිසක් ඉදිරියේ කතා කළ හැකි නම්, ඔබට බලපෑම් කළ හැකි ය. ඔබට බලපෑම් කළ හැකි නම් ඔබට ජීවිතය වෙනස් කළ හැකි ය. “

ප්‍රසිද්ධියේ කතා කිරීම නොහොත් Public speaking යනු යම් පිරිසක් ඉදිරියේ තොරතුරු සන්නිවේදන කිරීමේ හැකියාව යි. ප්‍රසිද්ධ කථන කුසලතා ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාමට සහ අවස්ථා නිර්මාණය කිරීමට උපකාරි වන අවස්ථා බොහෝ ය. ප්‍රසිද්ධ කථන කලාව ප්‍රගුණ කරන සහ සමාජශිලී අය සඳහා මෙය ඉතා සරල බවක් පෙනෙන්නට තිබුණත්, එය ලැජ්ජාවක් සහ වේදිකා භීතියක් ඇති අයට සැබෑ බියකරු සිහිනයක් බවට පත් විය හැකි ය. මෙම භීතිකාව මනෝ විද්‍යාවේදී, වෛද්‍ය විද්‍යාවේදී Glossophobia ලෙස හඳුන්වනු ලැබේ.

Glossophobia යනු සමාජ භීතිකාවලින් එකකි. මෙම භීතිකාව ඇති වීම සඳහා ජීවවිද්‍යාත්මක සාධක, මනෝවිද්‍යාත්මක සාධක සහ පාරිසරික සාධක බලපායි. ජීවවිද්‍යාත්මක වශයෙන් මිනිස් මොළය තුළ පණිවිඩ රැගෙන යාමේ ක‍්‍රියාවලියට උපයෝගී වන ස්නායු සම්පේ‍්‍රෂක අසමබරව පැවතීම Glassophobia ඇති වීමට හේතු වේ. මනෝවිද්‍යාත්මක වශයෙන් පුද්ගල පිරිසක් ඉදිරියෙහි අවමානයට බඳුන් වීම, නොසලකා හැරීමට ලක්වීම් වැනි පූර්ව අත්දැකීම් පැවතීමද පුද්ගලයෙකු පිරිසක් ඉදිරියෙහි අවමානයට ලක් වීම සම්ච්චලයට ලක්වීම වැනි ක‍්‍රියා දැකීම තුළ තමාටත් එය සිදුවිය හැකිය යන සෘණාත්මක ආකල්පය පැවතීම තුළ පාරිසරිකමය වශයෙන් මෙම භීතිකාව ඇති වීම කෙරෙහි බලපෑ හැකි ය.

මෙම භීතිකාව ඖෂධ ප‍්‍රතිකාර හා මනෝචිකිත්සක ප‍්‍රතිකාර මගින් ප‍්‍රධාන වශයෙන් පාලනය කළ හැකි වේ. පුහුණුවලත් මනෝ චිකිත්සකවරයෙකු යටතේ ඔබගේ බිය සහ ලැජ්ජාව ක‍්‍රමයෙන් පාලනය කර ගත හැකි වේ. මෙහිදී ප‍්‍රජානන චර්යා ප‍්‍රතිකාරය (Cognitive Behavioral Therapy) යොදා ගනු ලබන අතර එමගින් භීතිකාව සඳහා ඉවහල් වන සිතුවිලි මගහරවා ගැනීමට යතාර්ථය අවබෝධ කර වීම සිදු කරයි. මීට අමතරව පහත ආකාරයට මානසික පුහුණුව ලැබීම තුළින් ද, මෙම භීතිකාව මගහරවා ගැනීමට උපකාරි වේ.

පහත කරුණු අනුගමනය කිරීම තුළින්, ඔබට ප්‍රසිද්ධියේ කතා කිරීමට අවස්ථාවක් ලැබුණු විට තමන් තුළ ඇති වෙන බිය මගහරවා ගැනීමට, එය වර්ධනය වීම වළක්වා ගැනීමට වගේම සාර්ථකව කතාවක් ඉදිරිපත් කිරීමට හැකි වේ.

▪️ඔබ ප්‍රසිද්ධියේ කතා කිරීමේ දී, ඔබ තුළ ආත්ම විශ්වාසයක් ගොඩනගා ගත යුතු ය.

ඔබ තුළ ගොඩනැගෙන ඒ ආත්ම විශ්වාසය, සාර්ථක ව කතාව ඉදිරිපත් කිරීමට උපකාරී වේ.

▪️ඔබේ අවස්ථාවට පෙර හොඳින් සූදානම් වන්න.

-ප්‍රේක්ෂකාගාරයේ සිටින ප්‍රේක්ෂකයන්ගේ ජීවිතයට ආලෝකයක් දෙන්න තරම් වූ සූදානමක් ඔබ තුළ තබා ගන්න. කතා කරන මාතෘකාව පිළිබඳ ව හොඳින් අධ්‍යනය කරන්න. මාතෘකාවට අදාළව කරුණු අධ්‍යනය කරන්න.

-එමෙන්ම ඔබට ලබා දී ඇති කාලය පිළිබඳව අවධානය යොමු කරන්න. ලබා දී ඇති කාලයට උචිත පරිදි මාතෘකාවට අදාළව කරුණු ගොනු කරන්න. ඒ තුළින් ඔබට කාලය හොඳින් කළමනාකරණය කරගත හැකි ය.

-කතාව තුළ අන්තර්ගත වැදගත් කරුණු පෙළගස්වන්න. සටහන් කරගන්න. ඒ තුළින් ඔබට කරුණු මගහැරීමට ඇති අවස්ථාවන් අවම කරගත හැකි වේ.

-සාර්ථක ඉදිරිපත් කිරීමක් වෙනුවෙන් කතාව ඉදිරිපත් කිරීමට පෙර ඔබේ කතාව ලියන්න. එය ඔබේ කතාව කරගෙන යන විට ඔබේ මතකය අවදි කිරීමට උපකාරී වේ.

-ඔබ ප්‍රේක්ෂකාගාරයේ දී ඉදිරිපත් කරන කතාව, නැවත නැවත පුහුණුවක් වෙන්න. මෙය ඔබේ සසල වන සිත නිසල කරන්නට ඔබට උපකාරී වේ.

-කතාව ආරම්භ කිරීමට පෙර හොඳ හුස්මක් ගන්න (Effective breath). මේ තුළින් ඔබට සැහැල්ලුවෙන් සහ සන්සුන්ව කතාවට ප්‍රබල ආරම්භයක් දීමට හැකි වේ.

-කතාව අවසානයේදී ඔබට ප්‍රේක්ෂකාගාරයෙන් ලැබෙන ධනාත්මක ප්‍රතිචාර පිළිබඳ චිත්ත රූප මවන්න. එය ඔබට ඉදිරිපත් කිරීමේ උනන්දුවක් සහ ඔබ තුළ සතුටක් ඇති කිරීමට උපකාරී වේ.

▪️ඔබ ප්‍රේක්ෂකාගාරය හා සම්බන්ධ වන්න.

මෙහිදී, ඔබේ අත්දැකීම් ඔවුන් සමඟ බෙදාගන්න. නිර්මාණශීලී අදහස් ප්‍රකාශ කරන්න. ඔවුන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් (Activities) ලබා දෙන්න. පුද්ගලයින්, පුද්ගල කණ්ඩායමක් ඉලක්ක කොට ප්‍රශ්න විමසන්න. ඒ තුළින් ප්‍රේක්ෂකාගාරය, ඔබ වෙතට අවධානය යොමු කරනු ඇත.

▪️ඔබ, ඔබම වී කතා කරන්න.

ඔබ ඔබට අවංක වී කතා කරන්න. ඔබේ හඬට, කතාවට ජවයක් ලබා දෙන්න. එමෙන්ම සුහද සිනහවකින් යුතුව කතා කරන්න.

▪️ශරීර භාෂාව (Body language) පිළිබඳව අවධානය යොමු කරන්න.

මෙහිදී, ඔබේ අත්ල ප්‍රේක්ෂකාගරයට දිස්වෙන ලෙස කතා කරන්න. එමඟින් ප්‍රේක්ෂකයින්ට ඔබ පිළිබඳව විශ්වාසයක් ඇති වේ. ආචාරශිලී ඉරියව්වකින් සිට කතා කරන්න, ප්‍රේක්ෂකාගාරයේ නියමිත සීමාවක් තුළ ඔබේ සංචරණය පවත්වා ගැනීමට උත්සාහ කරන්න, එසේම සංවරශීලී වන්න. ඒ තුළින් ප්‍රේක්ෂකාගාරය ඔබට අවධානය යොමු කරනවා වගේ ම ඔබට සිදුවන අතපසුවීම් අවම කර ගැනීමට ද හැකියාව ලැබේ.

▪️Positive eye contact පවත්වා ගන්න.

ඔබ දෙස උද්‍යෝගිමත්ව බලා සිටින ප්‍රේක්ෂකයන් දෙස බලන්න. එය ඔබේ සාර්ථකත්වයට රුකුලක් වනු ඇත. ඔබේ නෙත් ප්‍රේක්ෂකයන් දෙසට යොමු කරමින් කතාව පවත්වා ගෙන යන්න. එවිට ප්‍රේක්ෂකයින් ද ඔබට ධනාත්මකව ප්‍රතිචාර දක්වාවි.

▪️සැහැල්ලු වචන භාවිත කරන්න.

කියවීම තුළින් මෙය ඔබ ප්‍රගුණ කළ යුතු ය. ප්‍රේක්ෂකයන්ගේ හදවතට දැනෙන ලෙස කතා කරන්න. ඔබේ වචන වලට හැඟීම් එකතු කරන්න. හැකි උපරිමෙන් දැනුමෙන් සන්නද්ධ වන්න. ඒ තුළින් ඔබට සාර්ථක ඉදිරිපත් කිරීමක් කරා ළඟා විය හැකි ය.

▪️ප්‍රේක්ෂකාගාරයට ඔබේ කතාව උකහා ගත හැකි පරිදි, ඔවුන්ට තේරෙන ආකාරයට ඔබේ කතාව ඉදිරිපත් කරන්න.

▪️කතා කිරීමේදී, ඔබට වචන අමතක වීමක් සිදු වූයේ නම්, මොහොතකට නිශ්ශබ්ද වන්න. මෙයින් ප්‍රේක්ෂකාගාරය ඔබේ කතාවට අවධානය යොමු කරනවා වගේ ම ඔබට කතාව සාර්ථකව ඉදිරියට කරගෙන යාමට ද උපකාරයක් වනු ඇත. ඒ වගේ ම ඔබව සන්සුන්ව තැබීමට ද මෙය උපකාරී වේ.

ඉහත සඳහන් කරුණු ඔබේ ජීවිතයට එක් කර ගැනීම තුළින්, ඔබට ප්‍රසිද්ධ කථිකයෝ ලෙසින් විශ්වාසවන්තව, මිත්‍රශීලීව, උද්‍යෝගිමත්ව, බලසම්පන්නව පෙනී සිටිය හැකිය. පිරිසක් ඉදිරියේ සාර්ථකව ඔබේ කතාව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. එමඟින් ඔබට බලපෑම් කළ හැකි ය. ඒ තුළින් ඔබට, ඔබේ ජීවිතයත් අන් අයගේ ජීවිතයත් වෙනස් කළ හැකි ය.

Article by: Sandali Karunadhipathi | Faculty of Science

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

Leave a Reply

avatar
  Subscribe  
Notify of