Menu
Menu
buddha-4264589-scaled

සිරි වෙසඟේ මිහිරි අසිරිය

පරක් තෙරක් නොපෙනෙන අති දීර්ඝ සංසාර ගමනක පටිච්චසමුප්පන්නව ඉපදෙමින් මැරෙමින්, ඒ අතර හුවමාරුකරන විවිධාකාර චරිත අතර අනේකවිධ ක්ලේශයන්ගෙන් බැටකමින්, ඉබාගාතේ ඇවිද යන සාංසාරික සත්ත්වයාට ඉන් සදහටම මිදී, ශාන්ත ප්‍රණීත සුව ඇති නිර්වාණය නොහොත් සසර නැවැත්ම කරා ගමන් ගන්නා මාර්ගය පෙන්වා වදාළ උත්තරීතර ශාස්තෘන් වහන්සේගේ තෙමඟුල සිහිපත්කරන උතුම් වෙසක් පොහොය දිනය අදයි.

“බුද්ධෝ හවේ කප්ප සතේහි දුල්ලභෝ”, සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළ වීම ඉතා දුර්ලභ කරුණකි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනින් පිරූ අපිරිමිත පාරමීදම්වල පුණ්‍යවන්ත ප්‍රතිඵලයක්වන සම්මා සම්බුදු රජාණන් වහන්සේ යනු, මිනිස් ලොව උපත ලබා මිනිසුන් අතර ම හැදී වැඩී, මිනිස් ධර්ම අතික්‍රමණය කොට වැඩ සිටියා වූ උත්තරීතර මනුෂ්‍ය රත්නයකි. සංසාර සැඩපහරට හසුවී හව්හරණක් නොමැතිව ගසාගෙන යන අසරණ සත්ත්ව සමූහයාට උඩුගං බලා යන මග කියාලන සොඳුරු දහමක් දේශනා කොට වදාළ ශාස්තෘන් වහන්සේ නමකි. අසූ වසක් වූ තම දිවියෙන් පන්සාළිස් වසක් ම පරාර්ථය උදෙසා කැප කරමින් වැඩහිඳ, සකල ලෝක සත්ත්වයාටම හිතසුව පිණිස කටයුතු කළ, ක්‍රියාවෙන්ම ඒ බව පෙන්වා සනාථ කළ, අභිමානවත් ශාස්තෘන් වහන්සේ නමකි.

‘ගෞතම’ නම් වූ ඒ සම්බුදු රජාණන් වහන්සේ නිරයේ ගිනිදැල් නිවාලමින්, සිහිල් දිය දහරා දසත විහිදුවමින්, සියලු සතුන්ගේ සිත් සතන්වලට සතුට උදා කරමින්, ‘සිද්ධාර්ථ’ නමින් මනුලොව උපත ලැබුවේ ද, දසමරුන් පරදවා, සියලු කෙලෙස් සිඳ බිඳ දමා උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගත්තේ ද, දීර්ඝ සංසාර ගමනක මෙහෙය නිමාකොට, මිහිකත කම්පා කරමින් පහන් සිලක් සේ නිවී ගියේ ද අද වැනි වෙසක් පුන් පොහෝ සඳ නැගුණු දිනයකයි. සකල ලෝකවාසී බෞද්ධයන් හට වෙසක් පොහෝ දිනය මංගල්‍යයක් බවට පත් වන්නේ මෙකී උතුම් සම්බුදු තෙමඟුල එදිනට යෙදී තිබීම නිසාවෙනි.

එපමණක් නොව, ශ්‍රී ලාංකීය බෞද්ධයන් ලෙස උතුම් වෙසක් පොහෝ දිනය අපට වැදගත්වන තවත් සුවිශේෂී කාරණා ඉතිහාසයෙන් හමුවේ. සම්බුද්ධත්වයෙන් අට වසරක් ඉක්ම ගිය තැන තෙවනවරට ලක්දිව කැලණි පුදබිම සම්බුදු පා පියුම් පහසින් අනුහස ලද්දේ අද වැනි වෙසක් පොහෝ දිනකයි. සිංහපුර ලාට රටින් නැව් නැගි විජය රජු ලක්දිවට සේන්දු වූයේද අද වැනිම වූ වෙසක් සඳෙහි කාන්තිය ලැබූ දිනකයි. තවද, නිල් අඹර විනිවිද සුදෝ සුදු කිරි බුබුලක් සේ නැගි, උතුම් රුවන්වැලි මහ සෑ රදුන් ඉදිකිරීමට මුල්ගල් තැබුවේ ද අද වැනි වෙසක් පොහෝ දිනක යි. ලොව ඉපැරණිම වෘක්ෂය ලෙසින් නම් දැරූ, සම්බුද්ධත්වයට පත්වන මොහොතේ බුදුරදුන්ට වලාකුළක් සේ සෙවණ සලසාලූ, අනුරාධපුර මහමෙව්නා උයනේ වැඩ හිඳින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උපත සිදුවූයේද අද වැනි පුන් පොහෝ දිනක වීම තවත් සුවිශේෂ කරුණකි.

බුදුදහම නම් තවත් අතෙකින් සොබාදහමයි. සොබාදහමෙහි නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙන යථාර්ථය මනසින් අවබෝධ කර ගැනීම, බුදුදහමේ හරය යි. සම්බුද්ධත්වයෙන් වසර 2611 ක් ඉක්ම ගිය තැන ද එකී හරය අදටත් ජීවමානව පැවතීම නිතැතින්ම ආශ්චර්යවත් කරුණකි. එබැවින් උතුම් වෙසක් පොහෝ දින තිදොර සංවර කරගනිමින්, මෙත් සිත් පෙරදැරි කරගෙන, දානාදී ආමිස පූජාවන්ගේද, සීල භාවනාදී ප්‍රතිපත්ති පූජාවන්ගේද හැකිපමණ නියැලෙමින් කුසල් වඩවාගනිමු. සැමදෙනා සමග එක්ව හැකි පමණ උපකාර කරගනිමු. උදාවූ උතුම් වෙසක් පුන් පොහෝ දිනය අවැසි ලෙස අර්ථසම්පන්න කරගනිමු.

Article by: Sachini Nawarathna⁩ | Faculty of Agriculture

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

Leave a Reply

avatar
  Subscribe  
Notify of