Menu
Menu
Seba-Minisekuge-Katawak

The Story of a Real Man

ලෝකය තුළ මෙතෙක් පැවති ග්‍රන්ථ සාහිත්‍යය අතරින් තවමත් සියලු සිත් තුළ නොමැකෙන අනභිභවනීය සලකුණක් තබා ඇති සාහිත්‍යයක් ලෙස “රුසියානු ග්‍රන්ථ සාහිත්‍යය” නොබියව පෙන්වාදිය හැක. මිනිසාගෙ චිත්ත සන්තානය තුළ සැඟවී ඇති බොහෝ ආදරණීය, කුරිරු, ශක්තිමත් ආදී වූ බොහෝ සිතුවිලි මිනිසාට සමීප කරවීමට සහ නැවත නැවත සිතා තම ජීවිත තුළට යහපත් යමක් ඇතුල් කරවාලීමට තැත් දරන රුසියානු කෘති අතර ප්‍රමුඛතාවය හිමි කරගන්නා තවත් එක් කෘතියකි “සැබෑ මිනිසකුගේ කතාව”.

1946 වර්ෂය තුළ බොරිස් පලෙවොයි නම් ලේඛකයා විසින් “ප්‍රබන්ධ” කෘතී වර්ගයට අයත් වන අයුරින් ලියූ මෙම කෘතිය රුසියානු සාහිත්‍යය තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූවකි.

රුසියානු-ජර්මන් නට්සි හමුදාවන් අතර දරුණු සටන් ඇවිළුණු යුගයක ප්‍රහාරාත්මක ගුවන් යානාවක සේවය කළ නිර්භීත සෙබළෙකු වූ ඇලෙක්සි මැරෙස්‍යෙව් නම් පුද්ගලයා වටා මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

නට්සි හමුදා ප්‍රහාරයකට හසුවී සිදුවූ අනතුරින් ‍යානය සමඟ බිමට කඩා වැටෙන ඇලෙක්සි හිමතලාවක අතරමංවී සිහිසුන්වන අතර නැවත පියවි සිහියට පැමිණි කල්හි ඔහුට වැටහෙන්නේ තවමත් තමා වටේ සතුරු යුධමය යානා ක්‍රියාත්මක වන බව යි. එහෙයින් වහාම තමා වැටී සිටින ස්ථානයෙන් පලා යෑමට උත්සාහ කිරීමේදී තම දෙපයම සිදුවූ අනතුරින් තමාට අහිමිවී ඇති බැව් වටහා ගනී. එහෙත් හමුදා නිළදරුවෙකු තුළ ඇති ශක්තිමත් සහ නොපසුබස්නා බව විදහා පාමින් ඔහු බඩගාමින් රුසියානු කඳවුරක් සොයා යෑමට පටන් ගනී. දින කිහිපයක මේ දුෂ්කර සැබෑ වේ දැයි නොදන්නා ක්‍රියාන්විතය තුළ ඔහු කුසගිනි නිවාගන්නේ හිමෙහි සැඟවුනු බෙරි වර්ග සහ කුහුඹුවන් ආහාරයට ගැනීමෙනි. ඔහු අපිරිමිත උත්සහයක් දරා විවිධ කම්කටොලු මැද රුසියානු හමුදා කූඩාරමක් කරා පැමිණීමෙන් කථාවෙහි ප්‍රථම භාගය කර්තෘ අවසන් කරන්නේ ප්‍රේක්ෂක හද තුළ විසල් කුතුහලයක් ඇති කරවමිනි.

විශිෂ්ට කෘතියක පැවතිය යුතු අංගයක් වන හැරවුම් ලක්ෂය බොරිස් විසින් කෙතරම් සාර්ථකව සිදු කළ ඇත්දැයි හැඟෙන්නේ රුසියානු හමුදා රෝහලක් තුළ ප්‍රතිකාර ගනිමින් දෙකකුල් කොට දෙකක් සහිතව යකඩ කකුල් භාවිතා කරමින්, පුවත් පතක සඳහන් වූ ලිපියක් කියවා කපිතාන් ඇලෙක්සි නැවත ප්‍රහාරාත්මක ගුවන් යානා පැදවීමට කැමැත්ත පළ කිරීමෙනි. එම ලිපියෙහි අඩංගු වන්නේ එක් කකුලක් නොමැතිව යකඩ කකුලක් භාවිතයෙන් එම කකුලෙහි අඩුව පුරවා ගනිමින් අහස් යාත්‍රා පදවන නියමුවෙකුගෙ පුවතකි. එමඟින් අත් ඇර දැමීමට නියමිත වූ ඇලෙක්සි ගේ රැකියාව ඔහු තම සිත තුළ ප්‍රතිස්ථාපනය් කරගනී.

එහිදී යකඩ කකුල් භාවිතයට හුරුවීම, සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් ක්‍රියාත්මක වීම ආදිය මෙන්ම දෙකකුල් රහිතව යානා පැදවීමට අවසර ගැනීමත් ආදී ලෙස බොහෝ බාධක වලට ඔහු මුහුණ දෙයි. ඔහුගේ ශක්තිමත් සිතුවිලි සහ කාර්‍යශූර භාවය ආදී වූ බොහෝ සිතුවිලි මැද ඔහු තම සිහිනය සැබෑ කරගනී.

බොරිස් පලයෙව් විසින් රුසියානු යුධ නිළධාරියකුගේ හැඟීම් සහ ඔවුන්ගේ සිත් තුළ ඇතිවන වීරෝදාර සිතුවිලි අකුරු බවට හරවා පාඨක සිත් තුළට එම හැඟුම් ඇතුළු කරවීමට සිය භාෂා භාවිතය සහ කථාව ගොඩ නැගීම ආදීවූ දහසකුත් එකක් ලේඛක ක්‍රම ශිල්ප හරහා උත්සාහ කර ඇත. තමන් සතුව පවතින ශාරීරික අඩුලුහුඬුකම් තම සාර්ථකත්වයට බාධාවක් නොවන බවත් නොපසුබස්නා උත්සහයක් ඇත්නම් තමාට කළ නොහැක්කක් නොමැති බවත් පාඨක සිත් තුළට කාවැද්දීමට ඔහු දැරූ උත්සහයෙහි සාර්ථක භාවය කෘතිය කියවීමෙන් වටහා ගත හැක.

ලේඛකයා සතු වගකීම මනාව වටහා ගනිමින් පාඨක සිත් තුළ ඉමහත් ආදරයක් ගෞරවයක් ඇති කරවාගනිමින් බොරිස් පලෙවොයි විසින් රචිත මේ කෘතිය තවමත් බොහෝ පාඨකයින්ගෙ ප්‍රියතම කෘතිය බවට පත් වී ඇත..

යම්කිසි දෙයක් වෙනුවෙන් සිහින දැකීමෙන් පමණක් නොසෑහී ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමෙන් සිහිනය සාර්ථක කරගත හැකි බවත් ඕනෑම ක්‍රියාවක් කළ නොහැකියැයි අපට සිතෙන්නේ එහි මුල්ම පියවර තබන තෙක් පමණක් බවත් ඔහු මෙමඟින් මුලු ලොවටම පවසයි.

Article by: K. A. H. Tharusha Madumali | Faculty of Arts

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

Leave a Reply

avatar
  Subscribe  
Notify of