Menu
Menu
IMG-20230828-WA0002

පෙරහර හා බැඳි ජන විශ්වාස

 

පෙරහර සහ බැඳි ජන විශ්වාස

කිත්සිරි මෙවන් රජ දවස ඇරඹි දළදා පෙරහැර, සිහල කලාවන්ගේ ඖදාර්යය පිළිබිඹු කෙරෙන සංස්කෘතික
මංගල්‍යයක් සේ සැළකේ.සෑම වර්ෂයක ම ඇසළ මාසයේ දී බුදුන් වහන්සේගේ වාම දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් ඉමහත් භක්තියෙන් යුතුව කෙරෙන මෙම පූජෝපහාරය හෙළයේ සකල කලාවන් සම්මුඛ කෙරෙන්නා වූ චමත්කාරජනක අවස්ථාවකි.දළදා පෙරහැර පිළිබඳ ව විමසා බලන විට ඒ හා බැඳුණු ජන විශ්වාසයන් රැසක් පෙරහැර තුළින් ප්‍රකාශමාන වෙයි.

ඇසළ මාසයේ පවත්වන දළදා පෙරහැරෙන් ගොවිතැනට ජලය ලබා ගැනීමට අවශ්‍ය වර්ෂාව ලබා දෙන බවට විශ්වාස කෙරෙන අතර ඒ තුළින් රටේ ජනතාවගේ ජීවිත වල සුඛිත මුදිත භාවය සහ රටේ සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කිරීම සිදු වේ.හේවිසි නාදයෙන් අහස ගෙරවීම ද,ඇතුන්ගෙන් වැහි වලාකුළු ද,පන්දම් එළි තුළින් විදුලි කෙටීම ද වැනි පෙරහැරේ විවිධාංග වර්ෂාව සංකේතවත් කරන බවට සමාජය තුළ විශ්වාසයක් පවතී.පෙරහැරේ සමාප්තිය සනිටුහන් කරමින් දිය කැපීම සිදු කරන අතර දිය කපන මොහොතේ නිසැකව ම වැසි පොද ඇද හැළෙන බවට බෞද්ධ සමාජය තුළ දැඩි විශ්වාසයක් පවතී.එලෙසම,කපේ ජල කොටස් වගාවන්ට යෙදීමෙන් කෘමි රෝග නොමැතිව ගොවිතැන් සශ්‍රීක වන බවට ද ඔවුහු විශ්වාස කරති.

එසේ ම, ලෙඩ රෝග දුරු වී නිරෝගී බව ලබා ගැනීමට ද පෙරහැර තුළින් ආශිර්වාද ලැබෙන බවට පිළිගැනෙයි. දිය කැපූ විගස එම ස්ථානයේ ගිලී නෑමෙන් සියලු රෝග දුරු වී නිරෝගී සුවය ලැබෙන බවට බෞද්ධ බැතිමත්හු විශ්වාස කරති. ලෙඩ රෝග මෙන් ම ග්‍රහ දෝෂ,අපල ද දුරු වී සෙත ශාන්තිය ළඟා කර ගැනීමට දළදා පෙරහැර ආශිර්වාද සලසා දෙන බවට විශ්වාස කෙරෙන අතර,කුඩා දරුවන්ගේ දොස් දුරු වී රැකවරණය සලසා ගනු වස් විශේෂයෙන් මුල් කුඹල් පෙරහැර දැක ගැනීමට කුඩා දරුවන් ද කැටුව දහස් ගණනින් දෙමාපියෝ රැස්වෙති.දළදා පෙරහැර හා සබැඳි ඍණාත්මක ජන විශ්වාසයක් වන්නේ පෙරහැර යම් අයුරකින් අසාර්ථක වුවහොත්;විශේෂයෙන් දළදා කරඬුව රැගත් ඇතාගේ කලබල වීමක් සිදු වුවහොත් රජු හා පුරවැසියන් අතර සම්බන්ධයට හානි වීමක් සිදු විය හැකි බවයි.

චිරාත් කාලයක් තිස්සේ සමාජය තුළ මුල් බැස පවත්නා මෙවැනි විශ්වාසයන් ප්‍රශ්නාර්ථයට නගන අය ද සමාජය තුළ නොසිටිනවා නොවේ.අපගේ පංචේන්ද්‍රියන්ට ගොදුරු නොවන දෑ ද විශ්වය තුළ ඇති බැවින් මෙවැනි මතවාද හා විශ්වාසයන් බොරු යැයි අපට කිව හැක්කේ කෙසේ ද? පරීක්ෂණ,නිරීක්ෂණ,නිගමන තුළින් විද්‍යාවෙන් හඳුනාගත නොහැකි වූ ඇතැම් දේ මුතුන් මිත්තන් ඔවුන්ගේ දියුණු කළ ඥානයෙන් අවබෝධ කරගෙන ඇති සැටියක් පෙනේ.මේ සියල්ල මනෝ විද්‍යාත්මක ය. නූතන විද්‍යාව ට ම සියල්ල පාලනය භාර කරනු වෙනුවට භක්තිය පෙරදැරිව විවිධ විශ්වාසයන්,ඇදහිලි තුළින් සිදු කෙරෙන දළදා පෙරහැර මංගල්‍යය මනෝ විද්‍යානුකූල කෝණයෙන් සමාජයට හිතකර ය. වර්තමානය වන විට තාක්ෂණික මෙවලම් භාවිතය සුලබ වීම නිසා මිනිසුන් තුළ මෙවන් සජීවී සංස්කෘතික වටිනාකමක් සහිත දේවල් කෙරෙහි ඇති උනන්දුව,ලැදියාව අඩු වී ඇති බවක් පෙනේ. කණගාටුවට කරුණ නම්, මේ ගැන දැනුවත්භාවයක් ලබා ගැනීමට ද වත්මන් සමාජයට උනන්දුවක් නොමැති වීමත්,හුදෙක් ඇස් කන් පිනවමින් සරල සතුටක් පමණක් ලබා ගැනීමත් ය.හෙළ සංස්කෘතික වටිනාකම් දැනගෙන එහි ජීව ගුණය රැකගෙන යාමට වත්මන් පරපුර උනන්දු වන්නේ නම් එය සංස්කෘතියේ මෙන් ම කලාවේ ද චිරස්ථිතියට මනා පිටිවහලක් වනු ඇත.

Article by : Binari Pabasara | Faculty of Arts
Design by :Prabhashana Rathnayake | Faculty of Arts

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

Leave a Reply

avatar
  Subscribe  
Notify of