Menu
Menu

එදා සිට අද දක්වා දැල් පන්දුවේ ආගමනය

1891 දී ඇමරිකාවේ ආචාර්ය ජේම්ස් නෙයිස්මිත් මෙම ක්‍රීඩාව හදුන්වා දෙන ලදී. මෙම ක්‍රීඩාව ප්‍රථමයෙන් හැඳින්වූයේ කාන්තා බාස්කට් බෝල් යනුවෙනි. ආරම්භයේ දී මෙම ක්‍රීඩාවේ යෙදුණේ බිත්තියක් තුළට සවිකල කූඩයක් තුළට පන්දුව විසිකිරීමෙනි. 1895 දී ඇමරිකානු ජාතික ආචාර්ය ටෙරන්ස් විසින් එංගලන්තයේ හැම්ස්ටර්ඩ් නුවරදී විද්‍යාලයක ශිෂ්‍යයාවන්ට මෙම දැල්පන්දු ක්‍රීඩාව හඳුන්වා දෙන ලදී. 1897 දී ප්‍රථම වරට කොටස් තුනකට බෙදන ලද තණ පිට්ටනියක විදුම් කණු භාවිතා කරමින් කූඩ ඉවත් කර මෙම ක්‍රීඩාව සිදුකර ඇත. අන් ක්‍රීඩාවන් සේම මෙහිදී ද ක්‍රීඩා කිරීමේදී ඇතිවන අපහසුතා වළක්වා ගැනීමට නීතිරීති මාලාවක අවශ්‍යතාවය ඇති විය. එබැවින් 1901 දී පළමු වරට ප්‍රතිසංස්කරණය කරන ලද නීති මාලාවක් සම්පාදනය කරන ලදී. 1926 දී එංගලන්ත දැල්පන්දු සංගමය බිහි වූ අතර 1938 දී ප්‍රථම ජාත්‍යන්තර දැල්පන්දු තරගය පැවැත්විය.එතැන් පටන් දැල්පන්දු ක්‍රීඩාව ලොව පුරා ව්‍යාප්ත වූ අතර ශ්‍රී ලංකාවට මෙය හදුන්වා දීමට පුරෝගාමීව කටයුතු කලේ ජේනි ග්‍රීන් මහත්මිය යි. ඒ 1921 වර්ෂයේදි ය. පළමුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයටත් ඉන්පසුව මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයටත් දැල්පන්දු ක්‍රීඩාව හදුන්වා දී ඇත. මෙය කාන්තාවන් අතර වඩාත් ජනප්‍රියම ක්‍රීඩාවක් වන්නේය. වර්තමානයේදි මෙය ඕස්ට්‍රේලියාව,නවසීලන්තය යන රටවල ප්‍රධාන කාන්තා කණ්ඩායම් ක්‍රීඩාව බවට පත්ව ඇත. දැල්පන්දු ක්‍රීඩාවේ අවුරුදු හතරකට වරක් ලෝක ශුරතා තරගාවලිය ද අවුරුදු දෙකකට වරක් ආසියාතික ශූරතා තරඟාවලිය ද පැවැත්වේ.

දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම හිමිකර ගෙන සිටින්නේ The Diamonds නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඕස්ට්‍රේලියාව සහ The Silver Ferns යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන නවසීලන්තය යි.
මෙතෙක් ඉතිහාසයේ පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලි පහළොවෙන් එකොළහකම ශූරතාවය ඕස්ට්‍රේලියාව සතුකර ගනිද්දී නවසීලන්තය ද ශූරතා පහක් තමන් සතු කර ගැනීමට සමත් වී ඇත. දැල්පන්දු ක්‍රීඩාවේ ලෝක කුසලාන ඉතිහාසය දෙස විමසා බැලීමේදී එය නියෝජනය කිරීමේ වාසනාව කුඩා රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවට ද හිමිව ඇත. වසර හැටක් තරම් දුර අතීතයක් ඇති දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දහසය වතාවක් පමණ මෙම ලෝක කුසලාන තරගාවලිය පැවැත්වී ඇති අතර ඒ අතරින් එකොළොස් වතාවක් හෝ ඊට වැඩි අවස්ථා ගණනක දී දැල්පන්දු ලෝක කුසලානය නියෝජනය කිරීමේ අවස්ථාව උදා වී ඇත්තේ රටවල් දහයකට පමණය. ඉන්දියාවේ මුතු ඇටය නමින් විරුදාවලිය ලබන ආර්ථිකය අතින් දුප්පත් වූ අප ශ්‍රී ලංකාවට ද ඒ රටවල් දහය අතරට තේරී පත්වීමට තරම් වාසනා වී ඇත. දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය වන්නේ ආරම්භක ලෝක කුසලාන තරගාවලියේ දී රටවල් එකොළහක් අතරින් නව වැනි ස්ථානයට පැමිණීමට සමත්වීමයි.

ක්‍රිකට් ක්‍රීඩාවට තරම් මෙම ක්‍රීඩාවට වැදගත් ස්ථානයක් හෝ අවධානයක් නොලැබුණ ද ඒ නොලැබීම් මධ්‍යයේ ද අපේ සිංහ කෙල්ලන්ගේ ධෛර්යය හොඳින්ම විදහා දැක්වෙනුයේ 2022 ආසියානු දැල්පන්දු අවසන් මහා තරගයේ දී 63 -53 ක් ලෙස සිංගප්පූරුව පරාජයට පත් කරමින් දැක්වූ ජයග්‍රහණය නිසාවෙනි. එබැවින් මහත්වරුන්ගේ මහත්මා ගතිය පෙන්වනු ලබන ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම දැල් පන්දු ක්‍රීඩාවට ද කුඩම්මාගේ සැලකිලි ලබා දීමකින් තොරව නිසි ගෞරවය ලබා දීමට කටයුතු කිරීමට රජය පියවර ගත යුතුය.

Article by : Pevindya Rashmi | Faculty of Arts

Design by : Aditha kelum | Faculty of Science

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

Leave a Reply

avatar
  Subscribe  
Notify of