මහවැලි ඉවුරු කොණක සුන්දර හරිත පැහැ හන්තාන කඳු පාමුල පිහිටි ඒ අරුමැසි සරසවියෙහි සුන්දරත්වය මෙන්ම අභ්‍යන්තර කටයුතු දෑසින් ම දැක බලා ගන්නට මුළු මහත් ශ්‍රී ලාංකිකයින්ට හිමි වන ඒ අපූරු දවස අදයි.වසර අසූවක් තිස්සේ මුළු මහත් ලෝකයේම බොහෝ අංශ වලින් ප්‍රමුඛත්වය ගන්නා වූ විශිෂ්ටයින් බිහි කිරීමට සමත් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද එහි අභිමානවත් අසූවෙනි සංවත්සරය සමරයි.පීඨ නවයකින් දස දහසකට අධික අධ්‍යයන,අනධ්‍යයන සේවක සේවිකාවන් ,සිසු සිසුවියන් පිරිසකගෙන් ද මේ අනභිභවනීය සරසවිය සමන්විත වේ
ඉතින් අද මෙහි අපූර්වත්වය විඳින්නට ,විද්‍යාර්ථීන් හා එක්ව සරසවියෙහි සිදුවන බොහෝ ක්‍රියාකාරකම් මෙන්ම සාහිත්‍ය කලා කෙත අස්වැද්දීම වෙනුවෙන් ඔවුන් විසින් සිදු කරන බොහෝමයක් අවස්ථාවන් සමඟ ඒකාත්මික වන්නට ද ඔබට හැකියාව ලැබේ..
මේ සුන්දර භූමියෙහි සුන්දරත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙහි සේවය කරන අධ්‍යයන ,අනධ්‍යයන මණ්ඩලය පමණක් නොව සිසු සිසුවියන් ද බොහෝ කැපකිරීම් කරන බව මේ භූමියට පිවිසෙන ඔබට දැක ගන්නට ලැබෙනු ඇත.මේ භූමියෙහි කිසිදු ස්ථානයක පොලිතීන්,ප්ලාස්ටික් තැනින් තැන දමමින් එහි අලංකාරය සහ ස්වභාවික පරිසරය විනාශ කරන්නට මෙහි වෙසෙන කිසිවෙකු කටයුතු නොකරයි.එමෙන්ම මෙහි පවතින වසර ගණනාවක් තිස්සේ සුන්දරත්වය මෙන්ම මුළු පරිසර පද්ධතියම පෝෂණය කරන තුරුවැල්හී අතු ඉති වලට හානි කිරීමද අප කිසිවෙකු අතින් සිදු නොවේ.
එබැවින් ඔබත් අද නොවරදවාම පැමිණෙන්න.මේ අද්විතීය අත්දැකීම් විඳ ගන්න.නමුත් ඔබේ පියවර සටහන් පමණක් ඉතිරි කර යෑමට තරම් කාරුණික වන්න.ඔබගේ භාවිතයට ගනු ලබන ආහාර දවටන,වතුර බෝතල් ආදි සියලු අපද්‍රව්‍ය ඒවා බැහැර කිරීමට ඇති ස්ථාන වල පමණක් බැහැර කරන්න.මේ භූමියෙන් පිටවන කල මතකයන් සහ අත්දැකීම් පමණක් රැගෙන යන්න..ඔබේ පියසටහන් පමණක් මෙහි තබා යන්නට කාරුණික වන මෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මුළු මහත් ප්‍රජාවම කාරුණිකව ඔබ සැමට යලි යලිත් සිහිපත් කරන්නෙමු.
Article by-perabeats life
Design by – Ishini Doluweera | Faculty of Science
Leave a Reply