“ඔබේ ඉලක්කයන්ට අසීමාන්තිකව ප්‍රේම කරන්න. මන්ද, එය ඔබව සාර්ථකත්වය කරා රැගෙන යන යතුර යි”.
විශ්වීය අධ්‍යාපනය තුළින් සාර්ථකත්වයේ හිනි පෙත්තටම යන්නට පෙරුම් පුරන සුවහසක් සරසවි මානව මානවිකාවන් ට කදිම ආදර්ශයක් සැපයූ, නොපසුබට කැපවීම, උත්සාහය සහ වීර්යය තුළින් ළඟා කර ගත නොහැක්කක් නොමැති බව මනාව පසක් කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයෙකුගේ අති විශිෂ්ට ජයග්‍රහණයක් පිළිබඳවයි මේ සටහන. පේරාදෙණි සරසවි ඉතිහාසයේ එදා මෙදා තුර ළඟා කරගත් සුවිශිෂ්ටතම ජයග්‍රහණ රැසක් තමන් සතු කරගත් මේ සුදක්ෂයා නමින්, නෙෂාද් ඩී. අමරසිංහ. මෑතකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා විශේෂවේදී ගෞරව උපාධිය 3.90 ක තරම් ඉහළ සාමාන්‍ය ශ්‍රේණි අගයක් සහිත ප්‍රථම පන්ති (1st class) සාමාර්ථයක් ලබා ගැනීමට නෙෂාද් ඩී. අමරසිංහට හැකියාව ලැබී ඇත. එහිදී භෞතික විද්‍යාව හැදෑරූ සියලුම සිසුන් අතුරින් ප්‍රථමයා (Batch Top) බවට පත් වීමටද ඔහු භාග්‍යවන්ත වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සමගාමීව අධ්‍යයන කටයුතු වලින් සුවිශේෂී දක්ෂතා දැක්වූ සිසුන් අගයමින්, භෞතික විද්‍යා අධ්‍යයන අංශයෙන් පිරිනමන,
1) Prof.Lakshman Dissanayake Gold Medal for Excellence in Physics
2) Prof.George Dissanaike Memorial Gold Medal for Physics
3) Dr.C.A.Hewavitharana Memorial Prize for Physics
4) Prof.A.W.Wolfendale Prize for Physics
5) University Award for Academic Excellence
6) Eramudugolla Dunuwila Prize for Mathematics
7) Merit Award
8) Faculty Award
9) Dean’s Lists in all 4 years
යනාදී සියලුම පදක්කම් සහ ත්‍යාග තමන් සතු කර ගැනීමට නෙෂාද් සමත් වන්නේ ඔහු දක්ෂයින් අතරින් අති දක්ෂයෙක් වූ නිසාවෙන්මයි. නෙෂාද්ගේ මෙම ජයග්‍රහණය ඔහුට තවත් සුවිශිෂ්ට ජයග්රහණයන් රැසක් අත්පත් කර දීමට සමත් වී තිබේ. ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම විශ්වවිද්‍යාල මඟින් පිරිනමන ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම් සහිත ආචාර්ය උපාධි (Ph.D) පහකට සම්පූර්ණ ශිෂ්‍යත්ව සමඟ එකවර සුදුසුකම් ලැබීමට තරම් ඔහු භාග්‍යවන්ත වන්නේ, GRE, IELTS, TOEFL වැනි කිසිදු ප්‍රමිතිගත පරීක්ෂණයකින් තොරවයි. මෙය බොහෝ විට කිසිදු ප්‍රමිතිගත පරීක්ෂණයකින් තොරව, පූර්ණ ආචාර්ය උපාධි ශිෂ්‍යත්වයක් ජයග්‍රහණය කළ, ශ්‍රී ලංකාවේ පළමු අවස්ථාව ලෙස සැලකේ. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් සෘජුව තෝරා ගත් පළමු උපාධිධාරියා ලෙස, ඇමෙරිකා එක්සත් ජනපදයේ Michigan State University මඟින් පිරිනමනු ලබන ලොව අංක එකේ න්‍යෂ්ටික භෞතික විද්‍යා ආචාර්ය උපාධි වැඩසටහන සඳහා නෙෂාද් ඩී. අමරසිංහ තෝරාපත් කරගෙන ඇත.
ඉගෙනීමේ සහජ හැකියාවයෙන් පිරිපුන් නෙෂාද් විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය තුළ මෙන් ම පාසල් අධ්‍යාපනයෙන්ද සුවිශේෂී දස්කම් දැක්වූ ආදර්ශවත් සිසුවෙකු බැව් කිව යුතුමයි. අම්පාර කාවන්තිස්ස මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහු, ශිෂ්‍යත්ව විභාගයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනාගෙන මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලබා ගෙන තිබේ. 6 ශ්‍රේණියේ සිට සෑම පන්තියකම පළමුවැනියා බවට පත් වෙමින් කැපී පෙනෙන දස්කම් දක්වා ඇති නෙෂාද් ධර්මරාජ විද්‍යාලයේ 6 වසරේ සිට 12 වසර දක්වා පැවති සෑම ත්‍යාග ප්රදානෝත්සවයකම ගණිතය විෂය සඳහා වන ත්‍යාගය අඛණ්ඩව දිනා ගෙන තිබේ. ඔහු ගණිතය විෂය කෙරෙහි දක්වන ලද මෙම අසාමාන්‍ය හැකියාව නිසාවෙන්, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටියේ භෞතික විද්‍යා අංශයෙනි. කෙසේ වෙතත්, උසස් පෙළ විභාගයට ආසන්න කාල වකවානුවේදී පැමිණි නොයෙකුත් බාධක නිසා, ඔහුගේ උසස් පෙළ අධ්‍යයන කටයුතු මාස 8 පමණ මුළුමනින්ම ඇණ හිට තිබේ. කෙසේ වෙතත්, උත්සාහය අත් නොහළ නෙෂාද්, මාස දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුළ විභාගයට සූදානම් වී, උසස් පෙළ විභාගය පළමුවරම ඉහළින්ම සමත් වෙමින් සරසවි වරම් ලබා ගෙන ඇත. වඩාත් සිත් ගන්නා සුළු කරුණ නම්, නෙෂාද් වයලීන් වාදනය සඳහා වන විශාරද උපාධියද ඉන්දියාවේ භාත්කන්ඩේ විද්‍යා පීඨයෙන් ලබා ගෙන, ඉගෙනීමෙන් පමණක් නොව ක්‍රීඩාව සහ සංගීතය වැනි විෂය පරිබාහිර අංශ ඔස්සේ ද ඔහුගේ කුසලතාවයන් ඔප් නංවා ගෙන තිබීමයි. විශ්වවිද්‍යාල ප්‍රවේශයට පෙර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බහුවිධ පර්යේෂණ ආයතනය වන මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයෙ (NIFS)හී ක්වොන්ටම් භෞතික විද්‍යාව සහ ව්‍යවහාරික ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘතියේ කනිෂ්ඨ පර්යේෂණ සහකාරවරයෙකු ලෙස ස්වේච්ඡා සේවයේ නිරත වීමෙන් ඔහු වෘත්තිමය සුදුසුකම්ද වැඩි දියුණු කොට ගෙන ඇත.
විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පසුවද පීඨයේ අතිශය තරඟකාරී විෂය සංකලනයක් වූ භෞතික විද්‍යාව, ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය යනාදී විෂයන් කෙරෙහි අසාමාන්‍ය හැකියාවන් පෙන්වමින් පීඨයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වශයෙන් ඔහු සිය අධ්‍යයන කටයුතු වල නියැලී ඇත. ගණිතය විෂයට දක්වන ලද අසාමාන්‍ය හැකියාව සහ ඇල්ම ඔස්සේ තම අධ්‍යයන ජීවිතය තුළ ඔහු ලබා ගත් මේ ජයග්රහණයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විශ්වීය දැනුමෙන් පිරිපුන් අග්‍රගණ්‍ය මිනිසුන් බිහිකරන තෝතැන්නක් බව පෙන්වීමට කදිම සාක්ෂි සපයයි.
ඉතින්, සුවිශිෂ්ට හැකියාව සහ උත්සාහය තුළින් විශිෂ්ට භෞතික විද්‍යාඥයෙකු වීමේ දිගු කාලීන අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට නෙෂාද් ඩී. අමරසිංහ සොයුරාට හැකිවේවා! යන්න perabeats අපේ ඒකායන පැතුමයි.
Article by: Pabasara Jayathilake | Faculty of Arts
Leave a Reply