Menu
Menu
Anula

රංගවේදිනියනි.. ඔබට නිවන් සුව!

සත් සියක් රන් හුයෙන් ගොතන ලද සත් සියක් මල් දමින් ශ්‍රී ලාංකීය කලාවේ සොඳුරුතම මංපෙත් සුවඳවත් කළ රතු හැට්ටකාරියත් අවසන රඟහල අඬ අඳුරේම තබා ජීවන වේදිකාවෙන් නික්ම ගියාය.. ඒ අන් කවරකු හෝ නොව අනුලා බුලත්සිංහල නම් ශ්‍රේෂ්ඨ රංගවේදිනියයි.

1947 වසරේ සැප්තැම්බර් මස 21 වන දින ජන්ම ලාභය ලද අනුලා බුලත්සිංහල මහත්මිය  සිය නේත්‍රාකර්ෂණීය  රංගනයෙන්, නර්තනයෙන් මෙන්ම එයටම නොදෙවෙනි වන්නා වූ චමත්කාරජනක ගායනයෙන්ද සහසක් ප්‍රේක්ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කළ  ප්‍රතිභාපූර්ණ කලා පෞරුෂයක් ලෙස හැඳින්වීම අගනේය.

විවාහයට  පෙර නමින් අනුලා මෙන්ඩිස්‍ නම් වූ ඇය අධ්‍යාපනය ලද්දේ හලාවත, කරුක්කුව ශ්‍රී සුගතානන්ද මහා විද්‍යාලයේය.

අනුලා මෙන්ඩිස් නම් තරුණිය වේදිකා නාට්‍ය කලාවට අතපොත් තබන්නේ හලාවත මාදම්පේ සමූපකාර තොග වෙළඳ සංස්ථාව හෙවත් සතොස ආයතනයේ රැකියාවෙහි නිරත වන කාලය තුළදීය. ඒ එම ආයතනයේ සේවය කළ ආර්. සමරකෝන් මහතා විසින් සතොස කලා කවය සඳහා 1967 වසරේ නිර්මාණය කරන ලද “ලෙඩක් නැති ලෙඩෙක්” නාට්‍යය සඳහා රංගනයෙන් දායක වීම තුළිනි. අනතුරුව ප්‍රවීණ වේදිකා නාට්‍ය නිර්මාණකරුවන්ගේ නිර්මාණ රැසකම සිය විශිෂ්ටත්වයේ මුද්‍රාව සනිටුහන් කළ ඇය , 1969 වසරේදී කෘතහස්ත නාට්‍ය නිර්මාණකරුවකු වූ හෙන්රි ජයසේන මහතාගේ “කුවේණි” නාට්‍යයේ දෙවැනි නිෂ්පාදනය සඳහා සම්බන්ධ වූයේ සිය කලා ජීවිතයේ නව ඇරඹුමක පෙරමඟ හෙළි පෙහෙළි කර ගනිමිනි.

කුවේණි නාට්‍යය තුළින් ප්‍රකට කරන ලද  රංගන, නර්තන හා ගායනයේ විශිෂ්ටත්වය මල්ඵල  ගන්වමින් ඇය 1974 වර්ෂයේදී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ “මහාසාර “නාට්‍යයේ දෙවන නිෂ්පාදනයෙහි ප්‍රධාන චරිතයට පණ පෙවීම සඳහා ඇරයුම් ලැබූවාය.  එහිදී එවකට ප්‍රවීණ කලාකරුවන්ගේ ආභාසයද , අනුශාසනාද නොමඳව ලද අනුලා බුලත්සිංහල මහත්මිය 1974 වර්ෂයේදීම සිය වේදිකා නාට්‍ය ජීවිතයේ කූඨප්‍රාප්තියට පත් වූවා යැයී කීවහොත් නිවැරදිය. ඒ රතු හැට්ටකාරි නාට්‍යය තුළින් ඇය ඉස්මතු කරන ලද නවමු රංග සොබාවන් හේතු කරගනිමිනි. 1974 වසරේ සිට අද දක්වාම එකසේ ඔබ අප කාගේත් මුවඟ රැඳි  “දීකිරි දීකිරි ” ගීතය ඇයගේ ප්‍රතිභාපූර්ණත්වයේ  ආලෝකය විහිදන පහන් ටැඹක් වැනි ජීවමාන සාක්ෂියකි. ඇගේ මනෝරම්‍ය ගායනයත්, ගීතයේ ඇති වදන් පෙළත් එකිනෙක අවියෝජනීය ලෙස බැඳී ඇති ආකාරය ගීතය අසා ඇති ඔබට නම් අමුතුවෙන් කිව යුතු නොවේ.

“තාරාවෝ ඉගිලෙති ” නාට්‍යයෙහි ලොරීටා චරිතයටද පණ පෙවූ ඇය,  “ශ්‍රී වික්‍රම නූර්තිය” සහ දයානන්ද ගුණවර්ධනයන්ගේ “මධුර ජවනිකා” ආදී එකිනෙකට වෙනස් රස පරාසයන් ස්පර්ශ කළ සුවිශේෂී කලා නිර්මාණ ගණනාවක් සඳහාද සිය දායකත්වය ලබා දී ඇත. “මධුර ජවනිකා” හි එන “නෙයිනගෙ සූදුව” ඇගේ ප්‍රහසනාත්මක රස උපදවන ස්වරයෙන්  හැඩගැන්වුණු එක් අපූර්ව නාට්‍ය ගීතයකි.

එසේම විජේරත්න වරකාගොඩ මහතා සමඟින් ගැයූ ” රඟහල දැන් ඇත අඩ අඳුරේ” ගීතයත්, ගුණදාස කපුගේ ශූරීන් සමඟ ගැයූ ” පන්සල පාමුල” ගීතයත්, “සුදු ඔසරිය ඇඳලා” සහ “බුදුන් වඳින මේ දෑතින්” ආදී වශයෙන් ගීතමය නිර්මාණ සඳහාත් දයක වෙමින් ප්‍රේක්ෂක ජනාදරයෙන් ඇය නොමඳව පිදුම් ලැබුවාය.

වේදිකාවේ දස්කම් පෑ බුලත්සිංහල මහත්මිය  රිදී තිරයේද සිය රංගන ප්‍රතිභා ප්‍රභාව මැනවින් විදහා පෑමට සමත් විය. ” සිටු දියණියෝ” සිනමා නිර්මාණය ඊට කදිම නිදසුන් සපයයි. මෑත භාගයේදීද ” නිල් දිය යහන”, ” මහින්දාගමනය” යනාදී සිනමා නිර්මාණ තුළින්ද අප හමුවූ ඇය “අසන්ධිමිත්තා” සහ “ගෝල්” යන චිත්‍රපට ද්විත්වය තුළදීද විශිෂ්ට රංගනයක යෙදුණාය.

ප්‍රවීණ කලාකරු ලූෂන් බුලත්සිංහල මහතාගේ ආදරණීය බිරිඳ වූ අනුලා බුලත්සිංහල මහත්මිය,  හර්ෂ බුලත්සිංහල සහ ගායිකා ඉන්ද්‍රචාපා බුලත්සිංහල යන අයගේ ආදරණීය මෑණියන්ද වූවාය. 2020 සැප්තැම්බර් 11 වන දින රාජ්‍ය නාට්‍ය උළෙලේදී කලාකරුවකු උදෙසා ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන “නාට්‍ය කීර්ති” සම්මානයෙන්ද අනුලා බුලත්සිංහල මහත්මිය  පිදුම් ලැබීමට අනුලා බුලත්සිංහල මහත්මිය භාග්‍යවන්ත වූවාය. ඒ ඇයගේ අවසාන වේදිකාගමනයයි.

නේක විධ රස පරාසයන් ස්පර්ශ කරමින් සිය රංග අභිනය හරහා සුවහසක් ජනී ජනයාගේ සිත් සතන් නව නළු රසයෙන් පිනවූ අනුලා බුලත්සිංහල මහත්මිය පසුගිය 16 දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වනවිට 73 වන වියෙහි පසු වූවාය.

දීකිරි සේම මිහිරි සිනාවෙන් මුව සරසා ගත් ඇය නැවතත් ඔබට මට වේදිකාවේ දක්නට නොලැබෙනු ඇත. අනුලා බුලත්සිංහල නමැති මේ අග්‍රගණ්‍ය කලා පෞරුෂයේ නික්ම යාම ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ නිර්මාණය කරන හිදැස නම් සුළුපටු වූවක් නොවේ.
අනුලා බුලත්සිංහල මහත්මියගේ ජීවන ගමන් මඟෙහි මනරම් මතක කිහිපයක්  සමර්පණය කරමින් ලියැවුණු  “මේ වදන් පෙළත් ඇයට උපහාරයක්ම වේවා!!”

“සත් සියක් රත් මල් රැගෙන මම
සත් සියක් රන් හුය රැගෙන මම
සත් සියක් මල් දම් ගොතන මම
සත් සියක් ගෙල පළඳිතේ
සත් සියක් ගෙල පළඳිතේ ”

ඔබ ගොතන ලද මල්දමින් සුවඳවත් වූ කලාවේ මංපෙත් තවත් චිරාත්කාලයක් සහෘද රසිකයන්ගේ සිත් සතන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයනු ඇත…

සුදුවතින් නික්මෙන වේදිකාවේ රතු හැට්ටකාරිය.. අනුලා බුලත්සිංහල  රංගවේදිනියනි.. ඔබට නිවන් සුව..!!

සටහන- ප්‍රදීප් නිමන්ත.

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

Leave a Reply

avatar
  Subscribe  
Notify of