Menu
Menu
Veteran-actor-Tennison-Cooray-passes-away

ශ්‍රී ලාංකේය හාස්‍යෝත්පාදන සිනමාවේ ටෙනිසන් ලකුණ

ශ්‍රී ලාංකේය සිනමාවේ හාස්‍යෝත්පාදන රංගනය උදෙසා හිමිවන්නේ අතිශය සුවිශේෂී ස්ථානයකි. ප්‍රථම කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුවෙහි එඩී ජයමාන්නයන්ගෙන් ඇරඹෙන මේ රංගධාර නාම ලේඛනය බී. එස්. පෙරේරා, දොන් සිරිසේන, ඇන්තනී සී. පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, හියුගෝ ප්‍රනාන්දු, ඩී.ආර්. නානායක්කාර , නවනන්දන විජේසිංහ, නිහාල් සිල්වා ආදී ලෙසින් දිගුවී අද වන විට බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, පොඩි මල්ලී, චූටි මල්ලී ආදී ලෙසින් වර්තමානයට සකස් වී තිබේ.සිංහල වේදිකා නාට්‍යද එසේමය.
මේ ප්‍රධාන කලා මාධ්‍ය දෙක හැරුණු විට අපට නිදහස් හාස්‍යෝත්පාදක ‍රංගන ශිල්පීන් රැසක්ම සිටි බව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉතිහාසය ස්මරණය කරන විට අපට පසක් වේ. ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක, සැමුවෙක් රුද්‍රිගු , ගැමුණු විජේසූරිය පමණක් නොව ප්‍රවීණ චරිතාංග නළුවෙකු වන විජේරත්න වරකාගොඩයන්ටද එහි ස්ථානයක් හිමිවේ.
හාස්‍යෝත්පාදය සිංහලයිනට විශේෂ දෙයක් නොවේ. පැරණි සිංහල ගැමියා සියලු දේ විහිලුවෙන් කරන්නට පුරුදු වී සිටියේය. පිහිතුඩක් සේ තියුණු වදන් කිහිපයකින් කිවයුතු දේ සිනහව දල්වා කියමින් අවශ්‍ය ඉලක්කයට යාමට ඔහුට මනා හැකියාවක් තිබිණි.
මේ හේතුවෙන්ම අපට හාස්‍යෝත්පාදක නාට්‍ය, චිත්‍රපට හා ගුවන්විදුලි නාට්‍ය වැනි කලා මාධ්‍යයන් අතිශය හර්දයාංගම වේ.
මේ ප්‍රවිශ්ටය දිගහැරෙන්නේ සිංහල හාස්‍යෝත්පාදක රංගන ඉතිහාසයේ සුවිශේෂී මුද්‍රාවක් තබා පසුගියදා දිවි රගමඩලෙන් සමුගත් මෙරෙඤගේ එඩ්වඩ් ටෙනිසන් කුරේ, නොඑසේනම් අප හොදින්ම හදුනන ටෙනිසන් කුරේ පිළිබදව සංවේගාත්මක සටහනක් තැබීමටයි.

1952 අප්‍රේල් මස 30 වන දින මොරටුවේ ජන්ම ලාභය ලබන ඔහු අධ්‍යාපනය ලබන්නේ මොරටුව මෙතෝදිස්ත විද්‍යාලයෙනි.
1972 දී ප්‍රථම වරට බර්මින් ලයිලි ප්‍රනාන්දු සමග එක්ව “හදබැදි සිත්තම්” නමින් විත්ති කතා චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිනමාවට අත්පොත් තබන ටෙනී රංගනයට පිවිසෙන්නේ හේමසිරි සෙල්ලප්පෙරුමගේ ‘ජීවන්තී’ චිත්‍රපටයෙනි. එය ඉතා සුළු චරිතයක් වුවද සුවිසල්ව වැඩෙන ගසක පෙති දෙපෙති ඔහු විහිදාලූයේය.
ටෙනිසන් කුරේ හා බන්දු සමරසිංහ ප්‍රේක්ෂක හදවත පත්ළටම පිවිසෙන්නේ දිනේෂ් ප්‍රියසාද්ගේ ‘නොම්මර එකයි’ චිත්‍රපටයෙනි.
1986 ටෙනිසන්ගේ දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ඔහු විසින්ම කතාව දෙබස් හා තිර රචනය කොට දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ ‘පෙරළිකාරයෝ’ චිත්‍රපටය තිරගතවන්නේ මේ වසරේදීය. බොක්ස් ඔෆිස් වාර්තා බිදහෙළමින් ප්‍රදර්ශනය වූ මෙය අති සුවිශේෂී වාණිජ චිත්‍රපටයක්ම විය.
ටෙනී ‘දෙමෝදර පාලම’ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකාගේ අධ්‍යක්ෂණය ‍යටතේ රගපෑවේය. එම වසරේ සරසවි චිත්‍රපට සම්මාන උළෙලේදී ඊට ලැබුණු සම්මානය ලබාගැනීමට එවකට ආණ්ඩුකාර ධුරයක් දැරූ ගාමිණීට පැමිණීමට නොහැකි වී තිබිණ. වේදිකාවට නැග සම්මානය ලබා ගැනීම සදහා ගාමිණී තෝරාගත්තේ ටෙනිසන් කුරේවය. ඒ බව සටහන් කොට ගාමිණී සිය අත් අකුරෙන්ම ලියා ටෙනී වෙත එවූ ලිපිය මහානර්ඝ වස්තුවක් සේ ටෙනිසන් කුරේ විසින් තමා මිය යන තුරුම තබාගෙන තිබිණි.
වසර සියයකටත් වඩා පැරණි වේදිකා නාට්‍යක් වූ ‘සිවම්මා ධනපාල’ නාට්‍යයේ නව නිෂ්පාදනයක් දොරට වඩින්නේ ටෙනිසන්ගේ මැදිහත්වීම හා කැපවීම නිසාවෙනි. වයස්ගතව අසරණව සිටි ටවර්හෝල් නළු නිළියන්ට උපකාර කිරීම උදෙසාම ඇරඹුණු එම නාට්‍ය රගදැක්වීම ටෙනීට පාලනය කළ නොහැකි හේතූන් හේතුවෙන් අතරමග නතරවිය.


කෙසේ වෙතත් සිංහල සිනමාවේ නිසි ඇගයීමට පාත්‍ර නොවූ නළුනිළි ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ ටෙනී බව නම් අවිවාදිතය. පසුගිය වසරේ දෙරණ චිත්‍රපට උළෙලේදී සිදුවූ අනපේක්ෂිත ඇගයීම හැරුණු විට ඔහු කිසිම ඇගයීමකට ලක්වී නොතිබිණි .
අතිශය නිර්ලෝභී මිනිසත්කමින් සපිරි හර්දයාංගම මිනිසෙකු වූ ටෙනිසන් සුබසාධක සංගම් ආදියට ආධාර පිණිස කෙරෙන සිය නාට්‍ය සංදර්ශන වලදී තමන්ගේ අතින්ද කිසියම් මුදලක් එම අරමුදලට පරිත්‍යාග කිරීම සිරිතක් කොටගෙන සිටියේය.
සිසිල් ගුණසේකර, දිනේෂ් ප්‍රියසාද්, බන්දු සමරසිංහ වැන්නන් ටෙනිසන්ගේ ළගම මිතුරන් වූ අතර ඔවුන් සිය මිත්‍රයා පිළිබදව පවසන අදහස් අතිශය අනුවේදනීයය.
තවද, හාස්‍යෝත්පාදක චිත්‍රපට හරහා සුවහසක් ශ්‍රී ලාංකේය සිනමා ලෝලීන්ගේ මුවගට සිනා ගෙන ආ ටෙනීට තිබූයේ තමාටම ආවේණික රංගන ශෛලියක් බව නොකිවයුතු නොවේ.
එලෙස සිංහල සිනමාවේ නොමැකෙන මතක සටහන් රැසක් ඉතිරි කර ජීවන අඹරෙන් බැසගිය ටෙනිසන් කුරේ නම්වූ අද්විතීය කලාකරුවාගේ නාමය ලාංකේය සිනමා ඉතිහාසයේ සදා අමරණීය වනු නොඅනුමානය .

පසස්නා අමරසිංහ

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

Leave a Reply

avatar
  Subscribe  
Notify of