Menu
Menu
bg10

‘Masaan’ ‘ජීවිතයම ආදාහනාගාරයකි’

චිත්‍රපටයේ පළමු විනාඩි කිහිපය ආරම්භ වන්නේ ළාබාල තරුණ පෙම්වතුන් යුවළක් හෝටල් කාමරයක් තුළ සිටිනවිට සිදුවන ලිංගික දර්ශනයකිනි. එකවරම මෙි දෙපළගේ රමණයේ නිදහසට බාධා කරමින් හෝටල් කාමරයේ දොර කඩා පොලීසිය කාමරය තුළට වැද තරුණ යුවළ අත්අඩංගුවට ගැනීමට සැරසෙයි. පොලීසියේ පහර කෑමටත් සිය පියාට දන්වන බවට කරන තර්ජනයෙනුත් දැඩි මානසික පීඩනයකට පත්වන පියුෂ් නමි තරුණයා නාන කාමරය තුළට වැද සියදිවි හානි කරගනී. තරුණිය වු දේවීගෙන් තර්ජනාත්මකව වීඩියෝ ප්‍රකාශයක් ලබාගන්නා පොලිස් නිලධාරියා ඇයව පොලීසියට රැගෙන යයි. ඔහු තමා සිය ජංගම දුරකථනයෙන් රූගත කළ දර්ශන අන්තර්ජාලය ඔස්සේ හා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වළකා ගැනීමට නම් ඇගේ වයෝවෘද්ධ පියාගෙන් රුපියල් ලක්ෂ 3 ක කප්පම් මුදලක් මාස 3 ක් ඇතුළත ගෙවන ලෙස ඉල්ලා සිටියි. මෙි වයෝවෘධ පියා සමාජයේ පිළිගත් සංස්කෘත භාෂා ගුරැවරයෙකු වන නිසා,මෙම අපකීර්තියෙන් මිදෙන්නට මෙි කප්පම ගෙවිය යුතුම බව ඔහු තීරණය කරයි. එම වයෝවෘද්ධ පියාටත් (සංජේ මිශ්රා) සුරූපී තරුණ දියණිය දේවිටත් (රිචා චද්ධා) අත්වන ඛේදවාචකයේ අපකීර්තියෙන් ගැලවීමට ඔවුන් පොලිස් නිලධාරියාගේ කප්පම් මුදල සෙවීමට දරන උත්සාහය චිත්‍රපටය පුරාම නිරූපිත ය. මෙය නිරාජ් ගේවන්ගේ කුළුඳුල් සිනමා කෘතිය වන අතර වසර 5000ක ඉතිහාසයකට උරුමකම් කියන ‘වාරණාසි’ නොහොත් බරණැස් නුවර බිඳ වැටෙන අයුරැ සහ වත්මන් අවවරප්‍රසාදිත තරුණයාගේ ජීවිත ග්‍රහණය කරගත්තකි.

චිත්‍රපටයේ මෙම ඉහත සිදුවීමට සමාන්තරව සිදුවන අනෙක් සිදුවීම වන්නේ තරුණ සිවිල් ඉංජිනේරු ශිෂ්‍යකු වන දීපාක් (විකී කෞෂාල්) හා හදිසියේ මුණගැසෙන ළාබාල තරුණියක අතර වන පෙම් සබඳතාවයයි. ඉන්දියානු සමාජයේ ඇටුවන් බැහැගෙන ඇති පුහු මාන්නක්කාර කුලය ඔවුන්ගේ සම්බන්ධයට හරස් වෙයි. ඇය බ්‍රාහ්මණ වංශික තරුණියක වන අතර දීපාක්, කුල ධුරාවලියේ පහළම ස්ථරයේ කුලයක් නියෝජනය කරයි. දීපාක්ගේ පියා මළ මිනී පුළුස්සන්නෙක් වන අතර, විශ්වවිද්‍යාල නිවාඩු දිනවල ඔහු ද ගඟ අසල පඩිපෙළට පැමිණ මළ මිනී පිළිස්සීමට සිය පියාට උදව් වේ. මේ අතර කතාවේ මුල් සිදුවීමේ හමුවන විශ්‍රාමික සංස්කෘත ගුරුවරයෙකු වන දේවිගේ වයෝවෘද්ධ පියා සිදු වූ නින්දාවෙන් සිය දියණියව ගලවා ගැනීමට උපරිම වෙහෙසක් යොදන අතර මළ මිනී පුළුස්සන මෙම ගඟ අසල පඩිපෙළේ සිට සිය ජීවන අරගලයට මුහුණ දෙයි.

දහවල් හිරු රශ්මියෙන් ගිනිගෙන දැවෙන කාර්යබහුල ජනාකීර්ණ නගරය, මළ හිරු බසින සැඳැ රතු අහස, මළ මිනී පුළුස්සන පියගැටපෙළ ආදිය වරින් වර පෙන්වනු ලබන්නේ “වරණාසි” නගරයෙහි දැවෙන මිනිසුන්ගේ ජීවිත සමඟ සංකේතාත්මක සැසඳීමක් සිදු කරමිනි. අවසානයේ ඔවුහු මෙම නගරය තුළ පවතින සමස්ත සමාජ දේශපාලනික යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්වෙති.” Masaan’ යන්නෙහි සැබෑ අරුත “ආදාහනාගාරය” යන්නයි. දැවෙන මළමිනි මෙනි මේ වරණාසි නගරයේ ජීවින්ද නිරන්තරයෙන්ම දැවෙයි. මූලික වශයෙන් චරිත හතරක සංකීර්ණ සිදුවීම් මාලාවක් ඔස්සේ ඔවුන්ගේ මනෝභාවයන් ඉතා සරලව හා ව්‍යක්ත අයුරින් අධ්‍යක්‍ෂවරයා තිරයට හසු කර ගනියි. වාරණාසිහි යථා ස්වරූපය, සැබෑ ජීවිත, ඓතිහාසික සංස්කෘතික මෙන්ම දූෂිත යථාර්ථය සිනමා කෘතිය පුරාවටම ප්‍රේක්ෂකයාගේ ග්‍රහණයට හසු වේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත හතරෙන් ඉංජිනේරු සිසුවාගේ පෙම්වතිය, ශාලු හැර සෙසු තිදෙනාම ගංගාවට බසින පඩිපෙළ අසල මළ මිනී පුළුස්සන තැන නිතර සැරිසරති. නමුත් ඔවුහු කිසිවිටෙකත් හමුවී කතාබහ නොකරති.  චිත්‍රපටයේ ප්‍රධාන චරිත සතර එකිනෙක යා වෙන්නේ එම මුද්ද හරහාය. අවසානයේ මෙි එකිනෙකාට නොදැනීම මෙි මුද්ද විසින් යහපත ලුහුබැඳ එයි.

අප ලොව කුමන ඉසව්වක ජීවත් වුව ද, අප මුහුණ දෙන සමාජ දේශපාලනික චක්‍රය කවරාකාර වුව ද, අප කෙතරම් දුරට ඉන්දියානු සංස්කෘතියට ආධුනික වුව ද Masaan අපට පෙන්වා දෙනුයේ ඉන්දියානු සමාජමය, සංස්කෘතිකමය, දේශපාලනික යථාර්ථයේ රූපමය පැතිකඩකි.

දේවි සිය මියගිය පෙම්වතා, පියුෂ්ගේ නිවසට යන අතර එහිදී කටුක අත්දැකීමකට මුහුණ පායි. ඉන්පසු අප දකින්නේ ඈ සුවිසල් ගංඟාවක් අසල පියගැට පෙළෙහි ශෝකයෙන් වාඩි වී සිටින දර්ශනයකි. පියගැටපෙළේ තරමක් ඉහළින් දීපක් සිටී. දෙදෙනා මුණ ගැසෙන්නේ ප්‍රථම වතාවටය. නමුත් ඔවුහු වචනයකුදු කතා නොකරති. දෙදෙනාම ඈත නදී තිරයේ ඇති “සංගමි” නමි සිද්ධස්ථානයක් වැඳ පුදා ගැනීමට පැමිණ සිටින බව හැඟී යයි. ඈතින් පාරුවක් පැමිණ දෙදෙනා නංවාගෙන යන රෑපය කෙමෙන් කෙමෙන් දුරස් වෙයි. මඟියෙකු දීපක්ගෙන් සිද්ධස්ථානය වැඳ පුදා ගැනීමට තමා යන්නේ කී වෙනි වතාවටදැයි විමසයි. දෙවැනි වතාවට බව දීපක් පවසයි. එය දේවිගේ ප්‍රථම අවස්ථාවයි. මඟියා පවසන්නේ ප්‍රථම වතාවේ තනියම වන්දනා කළ ද දෙවැනි වතාවේදී තනියම යාම නුසුදුසු බවයි. චිත්‍රපටිය අවසානයේ ප්‍රේක්ෂකයාට දෙන ඉඟිය කුමක්ද? පාරුව ඈත නදී තීරයේ ඈතින් ඈතට යයි. ජන ගීයකට උචිත ගායනයක් පසුබිමින් ඇසේ. අවසානයේ අප Masaan  හරහා වාරණාසිය දකින්නෙමු. ජීවිතයත් සහ මරණයත් අතර තිබු හිඩැස් පැළුමි රේඛාව මසාන් නමැති හූයෙන් මසා ඇත. කුලය,බලය,ධන තණ්හාව,වෛරය අවසානයේ බැර වනුයේ ආදාහනාගාරයට ය. ජීවිතයේ ඇති හරසුන් බව බරණැස් නගරයේ පැය විසිහතර පුරා දැවෙන මළමිනි තුළින් අපුරැවට කියාපායි. අප කෙරෙහි භාවමය කමිපනය ඇති කරයි. අප කෙතරමි ධනය රැස් කළද, කෙතරමි අවසානයේ දැවෙන අාදාහනාගාරයකට යටත් ය. ජීවිතය නමැති සසර යාත්‍රාවෙි කෙළවර මරණයයි. දීපාක් අපට එය හොඳාකාරවම අවබෝධ කරදුනි.

බොලිවුඩය නමැති කළුගල් ගොඩෙි දක්නට ලැබුණු ඉතාමත් විරල ගණයේ මාණික්‍යයක් ලෙසට “Masaan” සිනමාපටය හැඳින්විය හැක. පැය එකයි විනාඩි හතලිස් අටක් තුල හදගැස්ම වෙිගවත් කරන, ජීවිතයේ ඇති ශුන්‍යත්වය කදිමට කියා පෑ මේ සිනමාපටය සැබැවින්ම අතිශයින්ම සංවෙිදීභාවයට පත්කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිනමාකෘතියකි.

-මලින්ත විතානගේ-

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

Leave a Reply

avatar
  Subscribe  
Notify of