Menu
Menu
IMG_2608-e1506712722873

මල නොපෙලා රොන් තැලෙන්නට ඉඩ නොහැර නිදහසේ පිපෙන්නට කරුණු කාරණා සැලැසූ නිශාවට උපහාර පුද කරමු..

“රැය රහසේ මල් පුබුදුවා දහවලට එහි කීර්තිය බාර දෙයි….”

මහා ගත්කතුවර රබීන්ද්‍රනාත් තාගෝරයන් විසින් පවසන ලද ඒ රුවන් වැකිය දූෂිත සිත් භාෂිත වදනින් සුබාෂිත කරන ප්‍රභාෂිත ගුරු පරපුර උදෙසා මොනවට ගැලපෙන්නකි. පුරාතනයේ දිසාපාමොක් ඇදුරු පරපුරෙහි සිට ආගමික ශාස්තෲවරුන්ගෙන් පටන් අද දක්වා වූ සියලු ගුරු මවුපිය වරුන් වෙනුවෙන් එකී ප්‍රශංසාව හිමිවිය යුතුය. මෙවර ඔක්තෝම්බර් 5 සිට 12 වනදා දක්වා සමරනු ලබන ලෝක ගුරු දිනයේ තේමාව වනුයේ ” අර්බුදකාරී වාතාවරණය අතික්‍රමණය කරමින්, අනාගතය ප්‍රතිනිර්මාණය කරන ගුරුවරුන්” යන්නයි (Teachers, Leading in crisis, Reimagining the future). එය විසිඑක්වන සියවසෙහි උදාවූ නව දශකය සමස්ත ලෝකයටම ආන්දෝලනාත්මක ඇරඹුමක් වූ වත්මනට වඩාත්ම උචිත වූ තේමාවකි. තරුණ ප්‍රජාව තරම් නවීන තාක්ෂණවේදය හා නොගැටුන නමුදු ඔවුන් අන්තර්ජාලය හා එක්ව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මඟ හැරෙන්නට නොදී මෙහෙය වූ අයුරු ප්‍රශංසනීය ය.

ගුරුවරයාගේ කාර්යය භාරය විෂයානුබද්ධ දැනුම පමණක් ලබාදීමද? නැත, ඒ හා දරුවන්ට සාරධර්ම, සදාචාරය හා ජීවත් වන පිළිවෙල උගන්වා දරුවන් සමාජානුගත කිරීමේ වගකීමද ඔවුනගේ දෙවුර මත පැටවුණකි. පාසල් ගේට්ටුවෙන් එළියට බසින මිනිසාගේ ජීවිතයේ ඊළඟ මංසළකුණ ගුරුවරයාගේ අතින් තැබෙන්නකි.

වෘත්තිමය වශයෙන් ගත් කල ගුරුකම අතිශය සංවේදී වෘත්තියකි. අති සියුම් සේවාවකි. මන්ද යත් අනාගත පරපුරක නෂ්ට වීමත්, දියුණුවත් යන දෙයාකාරයෙහිම තෝන් ලණුව ඇත්තේ ගුරුවරයා අතෙහි වන බැවිනි. ඔබට මතක ඇති, අහිංසක නම් අතිදක්ෂ සිසුවා අංගුලිමාල නම් දාමරිකයෙකු වූයේත්, අංගුලිමාල නම් දරුණු මිනීමරුවා, අංගුලිමාල මහරහතන් වහන්සේ වූයේත් ගුරුවරුන් දෙදෙනෙකුගේ මඟ පෙන්වීමෙනි..

ගුරුවරුන් අතර ගුරු උතුමන් මෙන්ම ගුරුහොරුන් අතළොස්සක්ද සිටින බැව් සැබැවකි. සුළුතරයක් වූ ඒ පිරිස පිළිබඳ සලකා බහුතරයක් වූ ගුරු දෙවිවරුන්ට ගැරහීම නම් අනුවණකමක්මය. ගෝලීය අර්බුද සමයක ලෝක ගුරුදිනය සමරන අද දින මේ ඔබ මම කියවන ලියන සියළු අක්ෂරයකටම ඔවුනට ස්තූතිවන්ත වෙමු… මල නොපෙලා රොන් තැලෙන්නට ඉඩ නොහැර නිදහසේ පිපෙන්නට කරුණු කාරණා සැලැසූ නිශාවට උපහාර පුද කරමු.. සිප්කිරි පෙවූ මූසිලයින් උඩුමහලේ වැජඹෙද්දී, තවමත් මඩ කඩිති උඩින් පැන පාසල් යන අපේ ආචාරීන් බිතුසිතුවමක් වන්නට මත්තෙන් ඔවුනට ලැබිය යුතු උත්තමාචාරය පුද කරමු.. තවද, සුවහසක් සිරියාවතීලා වෙනුවෙන් හිරු දහසක් පායවන්නට වනසිංහ ටීච’ලා වෙනුවට පද්මා මිස්වරුන්ම බිහිවේවායි පතමු…!

සටහන- රවීෂා ගමගේ.

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

Leave a Reply

avatar
  Subscribe  
Notify of