Menu
Menu
New-Project-93-1

‘ලෝන් ස්ටාර් කන්ෆරන්ස්’ හි රන් පදක්කම දිනූ උස පැනීමේ ශූර උෂාන් තිවංක…

එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක පසුගිය දා ලෝන් ස්ටාර් කන්ෆරන්ස් එළිමහන් ධාවන පථ හා පිටිය ශූරතාවලියේ පිරිමි උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.20 ක උසකින් රන් පදක්කම දිනා ගැනීමත් සමඟ කාගේත් කතා බහට ලක් විය.

1998 ජනවාරි 22 වැනිදා රාගම දී උපත ලැබූ උෂාන් තිවංක සිප් සතර හැදෑරීම ආරම්භ කළේ රාගම කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයෙනි. ඉන්පසුව, මෙරටට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් රැසක් දායාද කළ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට ඇතුළත් වූ උෂාන් වයස අවුරුදු 18ක් පමණ වන විට උස පැනීම ඉසව්වෙන් මීටර් 2.17ක දස්කමක් දැක්වීමට සමත් විය.

උස පැනීම ඉසව්වේ කැපී පෙනෙන ලෙස දස්කම් වර්ධනය කරගත් උෂාන්, 2018 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 2.18 දස්කමක් දක්වමින් එම ඉසව්වේ දීර්ඝ කාලීන ශූරයා වූ මංජුල කුමාර පරාජය කරමින් ජාතික කිරුළ දිනා ගන්නට සමත් විය. පසුව සිය උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට පිටත් වූ උෂාන් A&M University of Commerce මලල ක්‍රීඩා කණ්ඩායම සමඟ එක්ව පුහුණුවීම් ආරම්භ කළේ ය.

කොරෝනා හේතුවෙන් ක්‍රීඩාවට ද ඉතාමත් අපහසු වසරක් වූ 2021 වසර, උෂාන් ආරම්භ කළේ උස පැනීම ඉසව්වෙන් මීටර් 2.21ක දස්කමක් දක්වමිනුයි. ඉන්පසුව පෙබරවාරි මාසයේ පැවති Lone Star Conference ගෘහස්ථ තරගාවලියට සහභාගි වූ උෂාන් මීටර් 2.25ක දක්ෂතාවයක් දක්වමින් මංජුල කුමාර පිහිටුවා තිබූ ගෘහස්ථ ජාතික වාර්තාව ද බිඳ හෙළන්නට සමත් විය. එම වාර්තාව පිහිටුවා මාසයක් ගතවන්නටත් පෙර නැවතත් උෂාන් තවත් ගෘහස්ථ තරගාවලියක දී උස පැනීම ඉසව්වේ මීටර් 2.26ක දස්කමක් පෙන්නුම් කරමින් තමන්ගේම වාර්තාව අභිබවා යන්නේ, මෙරට ක්‍රීඩකයෙකු උස පැනීමේ ඉසව්වේ වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාවය සටහන් කරමිනි.

එම දස්කම් නිසාවෙන් උෂාන් ඇමරිකානු ජවන/පිටිය සහ රට හරහා දිවීමේ පුහුණුකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන දෙවැනි කාණ්ඩයේ ගෘහස්ථ පිටිය ක්‍රීඩකයා (Division II Indoor National Men’s Field Athlete of the Year) සම්මානයට ද හිමිකම් කීමට සමත් විය. එමෙන් ම ඔහු 2021 මාර්තු මාසයේ පැවති Texas Relays Championship හී උස පැනීමේ තරගාවලියට සහභාගි වෙමින් මීටර් 2.28ක දක්ෂතාවයක් පෙන්නුම් කළේ ය. ඒ සමඟින් ඔහු වසර 17කට පෙර මංජුල කුමාර විසින් පිහිටුවා තිබූ එළිමහන් ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් විය.

2021 මැයි මාසයේ පැවති Lone Star Conference තරගාවලියේ දී උෂාන් සිය වාර්තාව නැවත අලුත් කරන්නේ මීටර් 2.30ක සමඟ තරගය ජයග්‍රහණය කරමිනි. මෙය ඔහු පිහිට වූ වාර්තාවන් අතර හොඳම වාර්තාව යි. එමෙන්ම එම දක්ෂතාවයට ළඟා වූ පළමු දකුණු ආසියාතික ක්‍රීඩකයා වීමට ද උෂාන් සමත් විය. මින් පෙර දකුණු ආසියානු ක්‍රීඩකයෙකු දැක්වූ ඉහළම දස්කම ලෙස සටහන්ව තිබුණේ 2018 දී ඉන්දීය ක්‍රීඩක ශංකර් විසින් මීටර් 2.29ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් පිහිටුවා තිබූ වාර්තාව යි.

නැවත නැවතත් තමන්ගේ දස්කම් ලොවට පෙන්වමින් 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ පැවති පැවති Lone Star Conference තරගාවලියේ දී මීටර් 2.27 ක් ද, මාර්තු මාසයේ දී NCAA Division ii ගෘහස්ථ ශූරතාවලියේ දී මීටර් 2.17 ද, අප්‍රේල් මාසයේ දී හා මැයි මාසයේ දී පැවති පිළිවෙලින් East Texas Quad. සහ Lone Star Conference තරගාවලි වලදී මීටර් 2.20 ලෙසින් ද ඔහුගේ වාර්තා අතරට එක් විය.

විවිධ කාරණා හේතුවෙන් 2020 ඔලිම්පික් සිහිනය බිඳ වැටුණ ද තවමත් 24 වියේ පසුවන උෂාන් තිවංක මෙරට මලල ක්‍රීඩාවට ජාත්‍යන්තර තලයේ පදක්කම් ගෙන ඒමට හැකි ඉතා දක්ෂ ක්‍රීඩකයෙකි. 2022 වසරේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය වැනි තරගාවලිවල දී දස්කම් දක්වා පදක්කම් ජයග්‍රහණය කිරීමට උෂාන්ට ඉහළ හැකියාවක් තිබේ. මේ දක්වා පවත්වාගෙන ආ රිද්මය තවදුරටත් වර්ධනය කර ගනිමින් ලක් මාතාවට ජාත්‍යන්තර තලයේ පදක්කම් දායාද කිරීමට උෂාන් තිවංකට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි perabeats අපෙන් උණුසුම් සුභ පැතුම්.!

Article by: Kumudumali Sandaleka | Faculty of Science

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

Leave a Reply

avatar
  Subscribe  
Notify of